Saturday, November 10, 2012

කොකාවිල් කඳවුරට ආ අසරණ අමුත්තා

යාපනයේ කොකාවිල් හමුදා කඳවුර දෙසට
විශාල කළු ගුලියක්‌ ඉකුත් 30 මහ රෑ එමින් තිබිණි.

හමුදා නිලධාරීහු එන හැම දේකටම මුහුණ දීමට සූදානමින් සිටියහ.

මේ කළු ගුලිය පිළිබඳව විපරමින් පසු වෙද්දී පෙනී ගියේ එම කළු ගුලිය යෝධ වලසකුගේ ඡායාවක්‌ බවය. මෙම යෝධ වලසා පැමිණියේ කොකාවිල් හමුදා කඳවුර ආසන්නයේ පිsහිටි වතුර වළකටය. මෙම වලසා මහත් අසීරුවෙන් ඇවිද්දේය.

කවුරුන් හෝ දඩයක්‌කාරයෙක්‌ ඇටවූ උගුලකට හසු වූ වලසා එම උගුලට සම්බන්ධ විශාල ලී කොටයක්‌ කොන්දේ රඳවාගෙනය.

බැලූ බැල්මට මෙම විශාල කොටය නිසා වලසා ඇවිද්දේ මහත් අසීරුවෙන්ය.

මෙම වලසාගේ කොන්ද බාගෙට කැඩී ඇතැයි හමුදා නිලධාරීහු විශ්වාස කළහ.

වනජීවී අඩවි නිලධාරි හේරත් මහතාට මෙම යෝධ වලසා පිළිබඳව දැනුම් දී ඇත.

පැය කාලක්‌ යැමට මත්තෙන් වනජීවී නිලධාරීන් කණ්‌ඩායමක්‌ කොකාවිල් හමුදා කඳවුර ආසන්නයට පැමිණියේය. විශාල ලී කොටයක්‌ රඳවාගෙන මහත් වේදනාවෙන් සිටි යෝධ වලසා අසුවී ඇති උගුල ගැලවීමට වනජීවී නිලධාරීහු උත්සාහ ගත්හ.

වලසා ළඟට කිට්‌ටුවීමටත් බැරිය. ඌ සිටියේ මරුවිකල්ලෙනි.

වනජීවී නිලධාරීන් මහත් අසීරුවෙන් උගුලේ බැමි ලිහන්න පටන් ගත්තේය.

පැය දෙක තුනක පරිශ්‍රමයකදී වලසා හසුවී සිටි උගුල සම්පූර්ණයෙන්ම ගලවා දැමීමට වනජීවී නිලධාරීන්ට හැකිවිය.

තමන්ට වනජීවී නිලධාරීන්ගෙන් කරදරයක්‌ හිරිහැරයක්‌ නොකරන බවට තේරුම්ගත් මෙම යෝධ වලසා බැමි ලියා දැමීමෙන් පසුත් වනජීවී නිලධාරීන් අසල ගැවසුණේ හීලෑකරගත් වලසෙකු ලෙසිනි.

මඳ වේලාවකින් පසු මෙම වලසා කැලෑව තුළට රිංගා ගත්තේය.

අඩවි වන ජීවී නිලධාරි හේරත් මහතා අපට කීවේ උගුලකට හසුවූ සතුන් අතරින් වලසකුගේ ජීවිතය බේරාගත් පළමු අවස්‌ථාව මෙය නොවන බවය.

සිත්පිත් නැති මිනිසුන් මහා කැලෑවේ අහිංසක සතුන්ට තනනු ලබන මර උගුල්වලට හසුවෙන සතුන් අතර මිනිසුන්ද සිටින බව වනජීවී නිලධාරියකු පැවසීය.

වල් ඌරන් මුවන්, ගෝනුන්, ඉත්තෑවන්, හාවන් අල්ලා ගැනීම සඳහා දඩයම්කරුවන් මහා රෑ මෙසේ මර උගුල් තනන බව වනජීවී කාර්යාලය කියයි.

නෝමන් පලිහවඩන


Source:http://www.divaina.com/2012/11/11/feature07.html

No comments:

Post a Comment