Tuesday, January 25, 2011

නීලගිරි හස්‌තියා මරාදැමීම ගැන සැකකරුවෝ සිව් දෙනෙක්‌ රිමාන්ඩ්


පින්නවල අලි අනාථාගාරයේදී පසුගිය 17 දා අලුයම මියගිය නීලගිරි නමැති හස්‌තියාගේ මරණයට සෘජුවම වගකිවයුතු බවට සැක කරන සහකාර සත්ව ආරක්‍ෂක නිලධාරියකු සහ ඇත් ගොව්වන් තිදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගන කෑගල්ල වැඩබලන මහෙස්‌ත්‍රාත් මාලනී ජයවර්ධන මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

1989 වර්ෂයේදී ලාහුගල ප්‍රදේශයේ වනාන්තරයකින් අල්ලාගත් මෙම නීලගිරි හස්‌තියා පසුව පින්නවල අලි අනාථාගාරයට රැගෙන විත් සිටියදී මීට මාස කීපයකට ඉහතදී ඇත්ගොව්වන් විසින් එල්ල කරන ලද දරුණු හෙන්ඩු පහරකින් අසාධ්‍යවී සිටියදී පසුගිය 17 දා අලුයම මියගියේය. මියයන විට අවුරුදු 23 පසු කරමින් සිටියේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ සෝලංග ආරච්චිගේ වසන්ත දුලිප් කුමාර නමැති සහකාර සත්ව ආරක්‍ෂක නිලධාරියා සහ රත්බදු ආරච්චිගේ පුංචි බණ්‌ඩාර ගනේගොඩගෙදර මාලක මිහිර බණ්‌ඩාර සහ බමුණුආරච්චිලාගේ සමන් ජයසූරිය නමැති ඇත්ගොව්වන් තිදෙනාය.

කෲර ලෙස වධ හිංසා කර හස්‌තියා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතා විසින් මෙම සිවුදෙනාගේ සේවය පසුගිsය 17 දා පෙරවරුවේ සිටම තහනම් කර තිබිණි.

පසුව මෙම සිව්දෙනා සැඟව සිටියදී රඹුක්‌කන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරිණි. මෙම නඩුව සම්බන්ධව සැලකිල්ලට ගත් කෑගල්ල වැඩබලන මහෙස්‌ත්‍රාත්වරිය මෙම සිව්දෙනා බන්ධනාගාරගත කර 28 දා යළි උසාවියට ඉදිරිපත් කරන ලෙස පොලිසියට දන්වා සිටි අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ රඹුක්‌කන පොලිසිය මෙහෙයවයි.


Source:http://www.divaina.com/2011/01/26/news17.html

No comments:

Post a Comment